බෞද්ධයාගේ අත් පොත පිලිබඳ දැන ගනිමු.

                 මහා කාරුණික වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් පසුව පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංගීතිකාරක මහ රහතන් වහන්සේලා විසින් ශාසනයේ චිරස්ථිතිය සලකා ක්‍රමානුකූලව වර්ග කොට සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් පිටක තුනක සංග්‍රහ කරන ලදී. ඒ පිටක තුනෙන් සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ 05 කි. 




01. දීඝ නිකාය 
02. මජ්ඣිම නිකාය 
03. සංයුත්ත නිකාය 
04. අංගුත්තර නිකාය 
05. ඛුද්දක නිකාය             යනුවෙනි.

මෙයින් ඛුද්දක නිකායට ග්‍රන්ථ 15ක් ඇතුළත් වේ. මේවා අතුරින් දෙවෙනි ග්‍රන්ථය ධම්ම පදයයි. 

   "ධම්ම" යන පදයෙහි අර්ථ රාශියක් ගැබ්ව තිබේ. ප්‍රධාන් වශයෙන් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම ධර්මය යනුවෙන් අදහස් කරනු ලැබේ. "පද" යන්නෙහිද අර්ථ කිහිපයකි. මෙහි දී කොටස් යන අර්ථයත්, මාර්ගය යන අර්ථයත් යෝග්‍ය බව පෙනේ. එම නිසා "ධර්ම කොටස්" යන අර්ථයත් "ධර්ම මාර්ගය" යන අර්ථයත්, ග්‍රන්ථ නාමයේ අර්ථය ලෙස සැලකිය හැකිය. 

     මේ ග්‍රන්ථය සිත් ගන්නා සුලලිත පද මාලාවකින් ගැලපුණු ගාථා හෙවත් පාලි පද්‍ය 423 කින් පරිපූර්ණ වේ. ඒ ගාථා වලින් මතු වන අර්ථ සලකා වර්ග හෙවත් පරිච්ඡේද 26 කට බෙදා දක්වා තිබේ. බුදුරදුන් ජීවමාන කාලයේ අවස්ථා 300 කදී ඒ ඒ පුද්ගලයන්ට දේශනා කළ මේ ගාථා රැස් කොට සංගීතිකාරක මහා රහතන් වහන්සේලා විසින් වර්තමාන ධම්මපද ග්‍රන්ථයේ තත්ත්වයට පත් කරන ලදී. 

 මේ ග්‍රන්ථයේ අන්තර්ගත කරුණු අංශ 3 කට බෙදා දැක්විය හැකිය.

01. මෙලොව සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපයෝගී වන උපදෙස්.
02. පරලොව සැප ලැබීමට කළ යුතු හා අත්හළ යුතු දේ පිලිබඳ උපදෙස්.
03. නිවන් ලැබීම සඳහා උපදෙස්.

සෑම බෞද්ධයෙකු විසින්ම මේ කරුණු පිළිබඳව කෙටියෙන් හෝ දැනගත යුතු වේ. ධර්ම දානයක් පිණිස ෂෙයාර් කරන්න.