කුඩා යැයි සිතා අවමන් නොකළ යුත්තන් හතරකි.

     බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරනවිට පසේනදී කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ හමු වීමට පැමිණියේය. පැමිණ බුදුන් වහන්සේ සමග සතුටු සාමීචියේ කතා කොට නිමවා එකත් පසෙක සිටි කොසොල් රජතුමා උන්වහන්සේට මෙසේ කීවේය. 




   "භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ යැයි ප්‍රකාශ කරන සේක් ද ? "

    "මහරජ, මම වනාහි සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළෙමි."  බුදුන් වහන්සේගේ පිළිතුර විය.

     "භවත් ගෞතමයන් වහන්ස, බොහෝ පැවිදි සමූහයා ඇති, ප්‍රසිද්ධ වූ කීර්තිය පැතිරුණු, බොහෝ මිනිසුන් ප්‍රශංසා කරන ලද පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, නිගන්ඨ නාථ පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බල යන අයත් සම්බුද්ධත්වය අවබෝධ කළේදැයි මා විසින් විමසූ විට එය අවබෝධ නොකළ බව කීහ. ඒ අයට වඩා වයසින් බාල ඔබ වහන්සේ බුද්ධත්වය අවබෝධ කළේයැයි ප්‍රකාශ කරයි.එයට හෙතුව කුමක් ද ?"

      එවිට බුදුන් වහන්සේ, "මහරජ හතර දෙනෙක් වයසින් බාල යැයි අවමන් නොකළ යුතුය. ඒ හතර දෙනා නම් .....
01. රාජ කුමාරයා ළදරු යැයි අවමන් නොකළ යුතුය. කෙදිනක හෝ ඔහු රජ කමට පත් වී තමාට අවමන් කළ පුද්ගලයාට දඬුවම් පමුණුවන බැවිණි.

02. සර්පයා කුඩා යැයි අවමන් නොකළ යුතුය. ඌ දෂ්ට කළ විට විශාල සර්පයෙකුගේ මෙන්ම විෂ සමානව පැතිරෙන බැවිණි.

03. ගින්න කුඩා යැයි අවමන් නොකළ යුතුය. කුඩා ගිනි සිලුවකින් වුවද විශාල ගින්නක්  ඇති විය හැකි බැවිණි.

04. සිල්වත් ශ්‍රමණයාට කුඩා යැයි අවමන් නොකළ යුතුය. ඔහුගේ තේජසින් අවමන් කළ තැනැත්තාගේ මුදුන් සුන් වූ තල රුකක් මෙන් විනාශයට පත් වන්නේය.... (වයසින් බාල වුවත් සීලයෙන් උසස් විය හැකියි.)
මහරජ මේ හතර දෙනා කුඩා යැයි අවමන් නොකළ යුතු යැයි කොසොල් රජතුමාට දේශනා කොට වදාළහ.

ධර්ම දානය පිණිස මෙම ලිපිය පහතින් ෂෙයාර් කරන්න.